Sunday, November 11, 2012

ප්‍රේම

තදබල ඩයලොග් ප්‍රේම දෙකක් හා මොබිටෙල් ප්‍රේම දෙකක් හිතේ ඇමිනී ඇත... අතරින් පතර චූල සම්බන්ධතා නොතිබුනේද නොවේ..ඒවා ගතයුත්තකට නැත. ඒත් මේ සම්බන්ධකම් තදබලය. හිත් කොණක සිට එබී බලයි..එකක් අවසන එකක් ලෙස පැවතුන ඒවාය.. පෙර දිනවල හමු වු තැන් සිහිපත් වෙද්දි යලිඳු හමු වීමට සිතෙයි.වල්බිහිවී ගිය සම්බන්ධතා පාදා ගොඩ ගැනීමට අවශ්‍ය නොවේ.ඔවුන් ඔවුන් ගේ ලෝක වලය.. මම එතැනමය.. ඔවුන් දුටු විට දුක සිතෙන්නේ මා ගැනය.. පුදුමය යනු මේ සිව් ප්‍රේමයම එකිනෙකා හඳුනයි.. ඔවුන් එසේ ප්‍රේම කරන බව දනි.විශ්ව ගම්මාන තුල සම්බන්ධතාද සංකීර්ණ වී ඇත.. ජොබ් එකට ගිය තැන එක ප්‍රේමයකි. කෝච්චියේ යන විට එක ප්‍රේමයකි. ගෙදර ආ පසු තවත් එකකි.. එවන් උන් අතර මා හොඳ යැයි මට සිතේ.. දුක වියදම් කරන්නට බෝතල් මිලදී ගන්නට සිතේ.. දිනෙක එයින්ද වැඩක් නොවන බව දනිමි..

කතා

‎ Sean #1 ඔරලෝසුවත් කටු අතර ගිමන් අරින කොට මට වෙලාව නැවතිලා වද්ද කියලා සැක හිතුනා.ලාබෙට ගත්ත කාමරේ පුස් ගඳ නාහෙට දැනුනා වුනත් ඒකට වඩා මට දැනුනේ ඔයාගේ ඇඟෙන් ආපු සුවඳ... හත්ගව්වක් ඇත තිබ්බ මුහුදේ රුළි බිඳෙන හඩ ඇහුනෙ නැ.ඒකත් තිබ්බනම් මාර රොමැන්ටික් ගතියක් එන්නත් තිබ්බා. කට කට හඩින් කැරකෙන ෆෑන් එකෙන් අපේ ඇඟේ දාහය නිවුනෙ නැ. ඒකෙන් වෙන්නේ අපේ කාමරේ සද්දේ පිට කාමර වලට ඇහෙන්නේ නැති එක විතරයි. ඇය සුසුමක් හෙලුවා.. එතකොටත් මම ඇගේ කෙහෙරුළි එක්ක සෙල්ලම් කර කර හිටියේ. ඇයි? රස්නෙද? නෑ එහෙනම්? feeling guilty එහෙම එකක් නැ. මං කිව්වනේ ඔයාට.. මේක වැරැද්දක් නෙවෙයි දන්නවා කවදහරි මේක නවත්තන්න වෙනවා.අපි අපිට අයිති නැ. ඒත් හැමවෙලේම මාව ඔයාට බැඳෙනවා.. මටම හිතා ගන්න බැ ඒ ඇයි කියලා... මං එයාටත් ආදරෙයි ගෙදර ප්‍රශ්ණ ඇති කර ගන්ඩ එපා මම නිසා.. නැ මට ඒක බැලන්ස් කර ගන්න් පුළුවන්.. අපේ ගෙදර එනවා නේ හෙට... එයාගෙ බර්ත්ඩේ එක.. හ්ම් බලමු.. මං කොහොමද එයාගේ මූණ බලන්නේ? වැඩිය හිතන්න එපා.. ඔයා එන්න.. වතුර බිංදුව බිංදුව ගලන ටැප් එකෙන් ඇඟ තියා මූන වත් හේදුනේ නැ හරියට.වෙන වෙනම එලියට ආපු අපි දෙන්නා බම්බලපිටිය හන්දියෙන් දෙපැත්තට ගියා. _____________________________________________________________ Sean #2 හැමදාමත් වගේ අදත් ඇගේ උණූහුම හොයා ගෙන මං ආවේ පළඟැටියෙන් වගේ.හැබැයි ඒ ගින්නෙන් කවදා නමුත් දැවෙන්නේ ඈ ම තමා. ඇයි පරක්කු? තොල් පෙති නොසොල්වාම ඈ කතා කරනවා. එදා ඔයා ලස්සනයි අනේ මේ බටර් ඕනි නැ.. සුපුරුදු ෆෑන් එකේ සද්දේ මඟඅරිමින් ඈ කිව්වා. මේ උපන් කැත වහන්න බෑ මං දැක්කා එක වෙලවෙක ඔයාලා දෙන්නා එක ලඟ වාඩි වෙලා කතා කර කර හිටියා. ඔව් ඉතින් කැම්පස් කාලේ ඉඳලම අපි දෙන්නා යාළුවෙනේ.. ඕක අරැමයක් යෑ.. ඒත් මගේ හිතට පොඩි ආඩම්බරයක් ආවා.ඔයාලා දැකලා.. මම කට කොනකින් හිනා වෙමින් කිව්වා. ඒ මොකෝ? නෑ ඉතින් මාව බෙදා ගන්නේ ඔය දෙන්නා නේ..මට හිතුනා විනාඩියකට මැදින් වාඩි වෙලා ඔය දෙන්නව දෙපැත්තට තුරුල් කර ගන්න.... දෙන්නම එක ලඟ ඉන්න කොට ඇත්තටම මටම පුදුමයි මං ඇයි මෙච්චර ඔයාට කැමති කියලා... එයා ලස්සනයි නේ මට වඩා.. ආයෙත් මඟුලක් කියනවා.. ලස්සන සාපේක්ෂයි.. දන්නවා නම් එහෙම මගේ බෙල්ල කපයි.. නැ.. එහෙම වෙන් දෙන්නෙ නැ.. පහුගිය දේවල් ගැන හිතන්න එපා.. ගෙදරින් ගේන යෝජනාවකට ඔයා කැමති වෙන්න.. දැන් බඳින කාලේ හරි.. තනියම ඉන්න එපා.. ඒ පාර ඔයත් පටන් ගත්තද? එච්චර වෙලා තුරුළු කරන් හිටපු පුස් ගඳ හමන කොට්ටෙන් මට දමලා ගහපු ඈ සුපුරුදු වතුර බිංඳුව බිංඳුව වෑස්සෙන ටැප් එක හොයා ගෙන ගියා...

Thursday, December 30, 2010

ආදරේ ගැන හිතමු යලි යලිත්



අපි ආදරේ ගැන නිතර කථා කරනවා.විවිධාකාරයේ නිර්මාණ බිහිකරනවා.ඒත් මං මේ කියන්න අපි ආදරේ කරද්දි වරද්ද ගන්න තැනක් ගැන
කොල්ලො වැඩිපුරම ආදරේ පටන් ගන්න කලින් කෙල්ල ගැන ගොඩක් හොයා බලනවා. කෑවද බිව්වද කොහෙද ඉන්නෙ?class ඉවරද? ලෙඩ වෙලාද ඕවා මේවා

ඒත් මට කියන්න බලන්න කීයෙන් කීදෙනාද කෙල්ල කැමතියි කිවිවට පස්සෙ ඒවිදිහට කෙල්ල ගැන හොයා බලන්නේ?
හුඟක් කෙල්ලො කැමති තමන් ගැන හොයා බලන කොල්ලන්ට...
අඩුගානෙ කෑවද බිව්වද කියන එකවත්
ඒත් කොල්ලො හිතන්නේ දැන් වැඩේ හරි
කෙල්ල කැමති
මං දිනුම්
කියලා
ඒත් ඒ දිනුම පවත් වා ගෙන යන්න නම් ගෑණු ළමයා ගැන අනිවාර්යයෙන් හොයා බලන්න ඕනි.(හරියට අපි Computer එකක් ගත්තම After service තියෙනවා ව‍ගේ)
නැත්නම් එයා වෙන කෙනෙක් එක්ක යන කම් දන්නේ නෑ
ඒත් බනින්නෙ කෙල්ලට
තමන් අතේ වැරද්ද තියා ගෙන
හැබැයි මං කියන්නෙ නෑ කෙල්ලො එහෙම යන එක හරි කියලා
(පස්සෙ වෙලාවක ආයෙමත් මේ ගැන ලියන්නම්)

Monday, December 6, 2010

කුමාරයා සින්ඩරෙල්ලා ට නොකී කව

සින්ඩරෙල්ලා
උඹේ සපත්තුව පැටලිලා
මගේ පය ලෙස්සලා
පඩිපෙලේ පෙරළුනා


හොඳ වෙලාවට මගේ
උල ඇනුනෙ නෑ ඇඟේ
එහෙමනම් මං උඹව
තියන් නෑ ගෑනියේ.......

දමා ගිය පෙම


පුංචි නෙත් අගිස්සෙන්
කෝල බැල්මක් අරන්
මට කියා නොකිය ගිය
රහස මං හොයනවා

ඔය දෑත හෙමිහෙමින්
හිස මගේ පිරි මදින
මුදු සුවේ අද දිනේ
නැත්තෙ ඇයි හිතෙනවා

ආලවට්ටම් පුරන
හඳ එබෙන නිශා ඉම
ගෙවනකම් දොඩමළුවූ
ඔබේ හඩ මැවෙනවා

මගේ හද ගල් වලේ
නෙළුම් මල් පුබුදුවා
සුවඳ මට නොදී ගිය
කරුණ මං හිතනවා .......

Wednesday, December 1, 2010

මම දැන් නිශාන්ති නෙවෙයි

සිගරට් දුම කාමරය පුරා හැල්මේ දිව යයි.ඇඳ අසල බිම තිබූ බෝතලය ටාාා ං හඩ නංවමින් පෙරලී ගියේ මගේ පයේ වැදීමෙනි. දෙසැම්බරයේ කටුක සීතල ඇටමිඳුළු පවා සීතලෙන් ගල් ගසන්නට සැරසෙයි.ජනේලයෙන් එපිට පොළවේ සුදු පාට හිම, තට්ටු පිට තට්ටුය.හීටරය නිසා වෙන් කාමරය උණුසුම්ය.
දහස් සැරයක් කියවූ ලිපිය ඇඳ මත උඩ බලා ගෙන හිඳී. ඊයේ සිට මේ වන තුරුත් මම ලිපියේ ලියා ඇති කරුණ ඇත්තක් යැයි අදහන්නට උත්සහ කරමි.එහෙත් තවමත් මට විශ්වාස කළ නොහැක.
නිශා...
ඇයි නිශා අපිට මෙහෙම වුනේ?
මම දෑතින් හිස කේ ඇද ගතිමි. වාරු නැති ලෙස ඇඳ මතට කඩා වැටුනෙමි.
යළිඳු ලිපිය අතට ගතිමි.
අසංක
මාව අමතක කරන්න.
මම දැන් නිශාන්ති නෙවෙයි
නිශාන්ත කෙනෙක්!!!!!!

Thursday, November 11, 2010

හිල්

වැස්ස නැවතීමට කිසිම කල්පනාවක් නැති හැටියකි.මං කරන්නේ මට ඕනි වැඩේ යි වැස්ස හිතනවාට සැක නැත.චිරි චිරි වැස්ස හිරිකිත වුවද රාජකාරියට යා යුතුය .

නැත්නම් බොස් ගේ උදහසට ලක් වී job කට්ට අනතුරේ වැටෙන්නට පුළුවන.

රබර් සෙරෙප්පු දෙක පයේ රුවා ගත් මා කුඩය ඉහළාගෙන ගෙයින් එළියට පිළිපන්නේ වැස්සට රවා ගෙනය.

අප්පච්චියේ....

අපේ ගේට්ටුව ළඟ සිට දිගටම දණක් උසට වතුරය...

දැන් සිත සිතා හිඳීමට කාලයක් නැත. මර වැස්සේ කලිසමේ කකුල් උඩටම නවා ගෙන මහා ජල ප්‍රවාහයට පැන්නෙමි.වතුර මා පිළි ගත්තේ දිය රැළි නංවමිනි.මාළුන් සිටිනවාට වඩා සර්ප පැටවුන් ඇඟේ නඟිතැයි මා බිය වූ නිසා හනි හනික බොහො අසීරුවෙන් සෙරෙප්පු දෙකත් බේරා ගෙන ගොඩට ආවෙමි.

දැන් යළිත් මනුස්ස වේසය ගත යුතුය.කලිසම් කකුල් දිග හැරගෙන වතුර ගසා දමා තාර පාරට ගොඩ වූයෙමි.

ජල ධාරාවෝ වේගයෙන් ගලා බසියි.

අංගාරා ගඟ ගලා බසී එක් වරම සිතට ආවේ ඒ වදනයි.එය ඈත අතීතයේ තිබූ වේදිකා නාට්‍යක නමක් බව පමණක් මතකයේ ඇත.

ජල පහර කපා ගෙන ඉදිරියට ඇදෙන රිය සක දෙපැත්තේ සියළු දේ ජලයෙන් තෙමාලයි.

ඒ නෑමෙන් බේරි මහපාරට එන විට එතන එකම කාලගෝට්ටියකි.

වාහන හතරඅතේය.මඟියෝ අතරමඟය.මඩ වලවල් බේරා මම කහඉර සොයා ගතිමි.වාහන නවතා ඇති zigzag පිළිවෙලට පාර මාරු වුනෙමි.

හප්පේ යංතං ඇ...

මේ මොනවද මේ???

කක්කුට්ටෙක්වත්ද?

එත් මේ ගෙන්දගම් පොළවෙ????

එක දිගට එක සමාන ගැඹුරින් යුතු පොඩි වළවල් සමූහයකි.

මෙය කක්කුට්ටෙකු පිට පැවරිය නොහැක.

මඩ වුන පොළව මත හරි අපුරුවට හිල් සමූහයකි.

සමහරක වතුර පිරී ඇත.

මෙහි අක්මුල් සොයන්නට මට සිතුන නමුත් බස් නැවතුම කරා යන ගමන නවතන්නට නොහැක.

බොස් ගේ කට ඇද වුන මුහුණ මතක් වීමත් සමඟ ඉබේම අඩිය ඉක්මන් විය.

මා ඉදිරියෙන් නෝනා කෙනෙකු සීරුමාරුවෙන් අඩිය තබමින් ගමන් කරයි

මට හීන් හිනාවක් කට කොනකට ආවේය.

හිල් හදන හොරා අතටම මාට්ටු විය!!

නෝනා ගේ සපත්තු අඩිය, අඩියක් පමණ දිගය.

එයින් වැටුනොත් සිදු වන්නේ කකුල උළුක් කර ගැනිමටය. එය මඩෙහි එරෙන විට අපූරු සමාන්තර හිල් සෑදේ.

ඈ අසීරුවෙන් ගමන් කරන්නේ මඩෙන් කකුල් දෙක ගලවමිනි.

දාස්පෙතියා මල් ඇට ටිකක් ගෙනාව නම් මරු...

මේ හිල් වලට දාන්න තිබ්බා. එහෙනම් ඉතිං මල් උයනක්........

මා කිව්වේ ඈට ඇහෙන්නටය.

කුඩය අස්සෙන් ගිනි පිටවෙන දෑසක් මා දෙස බලා සිටියි.ඇගේ අත කුඩ මිට කිටි කිටියේ වෙලා ගන්නායුරු ඇස් කොනට පෙනෙයි.

එන පොට හොඳ නැත.

මා මඩ නොතකා ඉදිරියට ඇදුනෙමි.

අනේ මේ ගෑණු!!!!!!

තමන්ට ඇවිදින්න පහසු සපත්තු ගන්න එපැයි

වැස්සේ ආරෝව මොහොතකට අමතක වී මට හොඳටම සිනා පහළ වුණි....