Thursday, November 11, 2010

හිල්

වැස්ස නැවතීමට කිසිම කල්පනාවක් නැති හැටියකි.මං කරන්නේ මට ඕනි වැඩේ යි වැස්ස හිතනවාට සැක නැත.චිරි චිරි වැස්ස හිරිකිත වුවද රාජකාරියට යා යුතුය .

නැත්නම් බොස් ගේ උදහසට ලක් වී job කට්ට අනතුරේ වැටෙන්නට පුළුවන.

රබර් සෙරෙප්පු දෙක පයේ රුවා ගත් මා කුඩය ඉහළාගෙන ගෙයින් එළියට පිළිපන්නේ වැස්සට රවා ගෙනය.

අප්පච්චියේ....

අපේ ගේට්ටුව ළඟ සිට දිගටම දණක් උසට වතුරය...

දැන් සිත සිතා හිඳීමට කාලයක් නැත. මර වැස්සේ කලිසමේ කකුල් උඩටම නවා ගෙන මහා ජල ප්‍රවාහයට පැන්නෙමි.වතුර මා පිළි ගත්තේ දිය රැළි නංවමිනි.මාළුන් සිටිනවාට වඩා සර්ප පැටවුන් ඇඟේ නඟිතැයි මා බිය වූ නිසා හනි හනික බොහො අසීරුවෙන් සෙරෙප්පු දෙකත් බේරා ගෙන ගොඩට ආවෙමි.

දැන් යළිත් මනුස්ස වේසය ගත යුතුය.කලිසම් කකුල් දිග හැරගෙන වතුර ගසා දමා තාර පාරට ගොඩ වූයෙමි.

ජල ධාරාවෝ වේගයෙන් ගලා බසියි.

අංගාරා ගඟ ගලා බසී එක් වරම සිතට ආවේ ඒ වදනයි.එය ඈත අතීතයේ තිබූ වේදිකා නාට්‍යක නමක් බව පමණක් මතකයේ ඇත.

ජල පහර කපා ගෙන ඉදිරියට ඇදෙන රිය සක දෙපැත්තේ සියළු දේ ජලයෙන් තෙමාලයි.

ඒ නෑමෙන් බේරි මහපාරට එන විට එතන එකම කාලගෝට්ටියකි.

වාහන හතරඅතේය.මඟියෝ අතරමඟය.මඩ වලවල් බේරා මම කහඉර සොයා ගතිමි.වාහන නවතා ඇති zigzag පිළිවෙලට පාර මාරු වුනෙමි.

හප්පේ යංතං ඇ...

මේ මොනවද මේ???

කක්කුට්ටෙක්වත්ද?

එත් මේ ගෙන්දගම් පොළවෙ????

එක දිගට එක සමාන ගැඹුරින් යුතු පොඩි වළවල් සමූහයකි.

මෙය කක්කුට්ටෙකු පිට පැවරිය නොහැක.

මඩ වුන පොළව මත හරි අපුරුවට හිල් සමූහයකි.

සමහරක වතුර පිරී ඇත.

මෙහි අක්මුල් සොයන්නට මට සිතුන නමුත් බස් නැවතුම කරා යන ගමන නවතන්නට නොහැක.

බොස් ගේ කට ඇද වුන මුහුණ මතක් වීමත් සමඟ ඉබේම අඩිය ඉක්මන් විය.

මා ඉදිරියෙන් නෝනා කෙනෙකු සීරුමාරුවෙන් අඩිය තබමින් ගමන් කරයි

මට හීන් හිනාවක් කට කොනකට ආවේය.

හිල් හදන හොරා අතටම මාට්ටු විය!!

නෝනා ගේ සපත්තු අඩිය, අඩියක් පමණ දිගය.

එයින් වැටුනොත් සිදු වන්නේ කකුල උළුක් කර ගැනිමටය. එය මඩෙහි එරෙන විට අපූරු සමාන්තර හිල් සෑදේ.

ඈ අසීරුවෙන් ගමන් කරන්නේ මඩෙන් කකුල් දෙක ගලවමිනි.

දාස්පෙතියා මල් ඇට ටිකක් ගෙනාව නම් මරු...

මේ හිල් වලට දාන්න තිබ්බා. එහෙනම් ඉතිං මල් උයනක්........

මා කිව්වේ ඈට ඇහෙන්නටය.

කුඩය අස්සෙන් ගිනි පිටවෙන දෑසක් මා දෙස බලා සිටියි.ඇගේ අත කුඩ මිට කිටි කිටියේ වෙලා ගන්නායුරු ඇස් කොනට පෙනෙයි.

එන පොට හොඳ නැත.

මා මඩ නොතකා ඉදිරියට ඇදුනෙමි.

අනේ මේ ගෑණු!!!!!!

තමන්ට ඇවිදින්න පහසු සපත්තු ගන්න එපැයි

වැස්සේ ආරෝව මොහොතකට අමතක වී මට හොඳටම සිනා පහළ වුණි.... 

Saturday, November 6, 2010

සරා සඳ

සරාගික සරා සඳ
පුරා නෙක හැඟුම් පැස
උනයි ඇගෙ වළා පිළි
ඇසින් කැඳවමින් තරු
වළා නැති අහස් ගැබ
දිහා ඇස් රුවාගෙන
මං බලන් උන්න විට
ඈ ඇවිත් මා ළඟට!!
සරන්නට සෙනේ ගඟ
විඳින්නට පෙම් පහස
ඇඳගනින් සඳේ උඹෙ
වළා සළු හනිහනික........